16 January 2020

ලෙයින් නූපන් ළය කැකුළු

පිච්ච මල් කැකුළියක් 
තව කැකුළියක් එකම නටුවේ 
නටුව මගෙ නූනත් 
මුදුන් මුල අපෙ එක මැ සොයුරේ 

මගේ අත්තේ නටුවකත් 
කැකුළකින් කිරි සුවඳ හැමුවේ 
එකම නටුවේ  කැකුළියන් දැක 
මගෙ තනේ කිරි එදත් එරුනේ 

කැකුළියන් වෙත ලොබ බඳින්නට 
මගෙ කුසින් නම් නෙමෙයි වැදුනේ 
එක ගසේ අවු වැසි දැරූ අපි 
කැකුළියන් මගෙ ළයෙයි හැදුනේ 

පිපීගෙන එන ඒ කැකුළු පෙති 
සුවඳ විඳිනට පිනක් නැත්තේ 
පැහැ සුවඳ වැඩි කරන් එන්නට 
කැකුළු මුහුදෙන් එගොඩ ඇදුනේ 

අනේ මගේ  කැකුළියන් දෙන්නා 
ආයෙ කවදද මම දකින්නේ 
ලියුම් කඩදහි රූප ඇමතුම් 
ළයට උණුහුම නැහැ ගෙනෙන්නේ 

සිනිදු මල් පෙති දිගහැරෙන්නට 
සොබාදම අවසරය දුන්නේ 
අහස දුටු පෙති හුස්ම ගන්නට 
සොබාදම අවසර නොදුන්නේ 

ලියුම් කඩදහි රූප ඇමතුම් 
ළයට උණුහුම නැහැ ගෙනෙන්නේ 
මගේ කැකුළියො ආයෙ නේනම් 
හීත හද කුමටද ගැහෙන්නේ