4 February 2020

සිසිර

උනා සළු පිළි හීත හුළඟේ
නග්නවම සැට පැය මුළුල්ලේ
කිළි ද කුණු සෝදා හරින්නේ
පේ වෙලාවද මගේ මිතුරනි

නැවුම් පැහැ ලීලා මවන්නට
සාරයේ බර යලි දරන්නට
අපර පරපුර පණ පොවන්නට
සා සතට සංහිඳක් වන්නට
ප්‍රාණයේ පැතුමන් දරාගෙන
පෙරමුනේ සිතුවම් මවාගෙන
මීමුතුන් සාරය උරාගෙන

අමුත්තෙකි එන කල් බලාගෙන
උනා සළු පිළි හීත හුළඟේ
නුබ දියෙන් නා මේ සැදෙන්නේ
නැවුම් රන් රේඛා මැදින් එන
අමුත්තා වෙනුවෙන් ද මිතුරනි

16 January 2020

ලෙයින් නූපන් ළය කැකුළු

පිච්ච මල් කැකුළියක් 
තව කැකුළියක් එකම නටුවේ 
නටුව මගෙ නූනත් 
මුදුන් මුල අපෙ එක මැ සොයුරේ 

මගේ අත්තේ නටුවකත් 
කැකුළකින් කිරි සුවඳ හැමුවේ 
එකම නටුවේ  කැකුළියන් දැක 
මගෙ තනේ කිරි එදත් එරුනේ 

කැකුළියන් වෙත ලොබ බඳින්නට 
මගෙ කුසින් නම් නෙමෙයි වැදුනේ 
එක ගසේ අවු වැසි දැරූ අපි 
කැකුළියන් මගෙ ළයෙයි හැදුනේ 

පිපීගෙන එන ඒ කැකුළු පෙති 
සුවඳ විඳිනට පිනක් නැත්තේ 
පැහැ සුවඳ වැඩි කරන් එන්නට 
කැකුළු මුහුදෙන් එගොඩ ඇදුනේ 

අනේ මගේ  කැකුළියන් දෙන්නා 
ආයෙ කවදද මම දකින්නේ 
ලියුම් කඩදහි රූප ඇමතුම් 
ළයට උණුහුම නැහැ ගෙනෙන්නේ 

සිනිදු මල් පෙති දිගහැරෙන්නට 
සොබාදම අවසරය දුන්නේ 
අහස දුටු පෙති හුස්ම ගන්නට 
සොබාදම අවසර නොදුන්නේ 

ලියුම් කඩදහි රූප ඇමතුම් 
ළයට උණුහුම නැහැ ගෙනෙන්නේ 
මගේ කැකුළියො ආයෙ නේනම් 
හීත හද කුමටද ගැහෙන්නේ